
මාරාන්තික COVID-19 වසංගතයෙන් රට වෙලී ගොස් ඒ හේතුවෙන් දිනපතාම මිනිසුන් විශාල වශයෙන් මිය යමින් සහ ආසාදනය වෙමින් පවතින අතිශය ඛේදජනක අවස්ථාවක රටේ අනාගතය කෙරෙහි සකල ආකාරයෙන්ම තීරණාත්මක ලෙස බලපෑ හැකි "Port City" පනත කඩිමුඩියේ සම්මත කර ගැනීම සඳහා රජය දරමින් සිටින උත්සාහය ඉතාමත්ම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම ක්‍රියාවලියේ අතිශය භයානක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මාරාන්තික වසංගත තත්ත්වයක් රට වෙලා ගෙන ඇති මොහොතක සහ ඒ හේතුව නිසාම රටේ සිදු වන දෛනික මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින අවස්ථාවක රටේ අනාගතය කෙරෙහි සකල ආකාරයෙන්ම තීරණාත්මක ලෙස බලපෑ හැකි පනතක් කඩිමුඩියේ සම්මත කර ගැනීම සඳහා රජය දරමින් සිටින උත්සාහය ඉතාමත්ම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
රටේ ඒකීය භාවය, ජනතා පරමාධිපත්‍යය, මූලික අයිතිවාසිකම් ද ඇතුළු නීතියේ සමානාත්මක අයිතිය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය, පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනය ද ඇතුළු අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක කරුණු කාරණා ඇතුළත් මෙම පනත් කෙටුම්පත මුල් ආකාරයෙන්ම සම්මත කර ගැනීම රජයේ ඒකායන අභිප්‍රාය වී තිබුණත්, රටේ උත්තරීතර අධිකරණය මඟින් එම උත්සාහය ඒ ආකායෙන්ම ඉටු කිරීම වළක්වා තිබේ.
රජයත්, නීතිපතිවරයාත්, දිගින් දිගටම සඳහන් කළේ පෝර්ට් සිටි පනත ව්‍යවස්ථානුකූල බවය. මේ පිළිබඳව ජනතාවට පැහැදිලි කළ යුතුව ඇත. මෙම පනත මගින් ව්‍යවස්ථාව විසි පස් වතාවක් කඩවී ඇති බවත්, වගන්ති 9 කට බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් උත්තරීතර අධිකරණය විසින් සඳහන් කර තිබේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒ පිළිබඳ සිය බලවත් සතුට ප්‍රකාශ කරන අතරම එකී ඓතිහාසික තීන්දුවට හිස නමා ආචාර කරන්නෙමු.
එහෙත්, රජය දැන් උත්සාහ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ලබා දුන් තීන්දුවට අනුව පෝර්ට් සිටි කොම්ෂන් සභා පනත් කෙටුම්පතෙහි ඇතුළත්ව තිබූ ඇතැම් වගන්ති සංශෝධනය කරමින් සම්මත කර ගැනීමටය. එමඟින් පැන නැගෙන තීරණාත්මක ප්‍රශ්නය වන්නේ අදාළ පනත් කෙටුම්පතෙහි ඇතුළත්ව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සඳහා රජය ගෙන එන සංශෝධන මොනවාද යන්නය. එම සංශෝධන පිළිබඳව පුළුල් සංවාදයක් සිදු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබේද යන්නය.
රජයේ ප්‍රකාශිත අපේක්ෂාව අනුව බ්‍රහස්පතින්දා (20) මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතය. එහෙත්, අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත්තේ බොහෝ විට එදින සවස් භාගයේදී ය. ඒ අනුව ඒ පිළිබඳ පුළුල් හැදෑරීමකට හෝ සංවාදයකට ප්‍රමාණවත් කාලයක් කිසිසේත්ම නොලැබෙනු ඇත. එමෙන්ම එකී සංශෝධනයන් නැවත අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි තත්ත්වයක් මත මෙම පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කර ගැනීම කිසිසේත්ම නොකළ යුතුය. එමෙන්ම සිය බලය කෙරෙහි පමණක් විශ්වාසය තබා රජය එවැන්නකට යොමු වුව හොත්, එමඟින් ඇති කරලිය හැකි ප්‍රථිඵල අතිශයින්ම බිහිසුණු සහ විනාශකාරී විය හැක.
එබැවින් මේ මොහොතේ අප සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතාමත්ම ගෞරවයෙන් සහ වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නේ රටට අතිශයින්ම තීරණාත්මක විය හැකි මෙවැනි පනතක් කඩිමුඩියේ සම්මත කර ගැනීමට කටයුතු නොකරන ලෙසය. පාර්ලිමේන්තුවේ වගේම සාමාන්‍ය පොදු සමාජය අතර ද අදාළ සංශෝධන පුළුල් ලෙස සංවාදයට බඳුන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් එම කටයුත්තට යොමු වන ලෙසය.
අද ජනතාව මුහුණ දෙමින් සිටින අතිශය භයංකර වසංගත තත්ත්වය හේතුවෙන් පොදු සමාජය බලවත් ලෙස අකර්මණ්‍ය වී තිබේ. ජනතාව පසු වන්නේ තැති ගැන්මකිනි. එවන් පසුබිමක මේ ආකාරයෙන් රටට අතිශයින්ම තීරණාත්මක වන්නා වූ පනතක් කඩිනමින් සම්මත කර ගැනීමට රජය දක්වන උනන්දුව අතිශයින්ම ප්‍රශ්නකාරීය. එම ප්‍රයත්නය ප්‍රජාතන්ත්‍රවාදයට කරනු ලබන බරපතළ නිගාවක් වන අතරම ජනතාවගේ ජීවිත සමඟ කරන්නා වූ භයානක සූදුවක් ලෙසට ද සැළකිය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිඳු පාලනයක් එවැනි අත්තනෝමතික සහ ජනතා ද්‍රෝහී පිළිවෙතක පිහිටා කටයුතු කරන්නේ නැත. එහෙත්, අවාසනාවකට වගේ අද අප රටේ සිදු වෙමින් පවතින්නේ එවැනි ක්‍රියාදාමයකි. එම පනත සම්මත කර ගැනීමෙන් පැය කිහිපයකට පසු නැවත දින ගණනාවක් රටේ සාමාන්‍ය ජන ජීවිතය අක්‍රීය කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා සත්භාවයෙන් කරන්නා වූ ක්‍රියාවක් නම්, ඊට අපගේ ප්‍රශංසාව පළ කරන්නෙමු. එහෙත්, ඒ මඟින් රජය අපේක්ෂා කරන්නේ රටේ ඉදිරි පැවැත්මට සහ ජනතාවගේ ජීවිතවලට තීරණාත්මක ලෙස බලපාන බරපතළ ප්‍රශ්නයක් හමුවේ ජනතාව නිහඬ කිරීම නම්, එම ක්‍රියාදාමය සැළකිය හැක්කේ නින්දා සහගත උපක්‍රමයක් ලෙසය.
මෙම සමස්ත කරුණු කාරණා සලකා බැලීමේ දී ජනතාවට වග කියන, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ආණ්ඩුවක් ලෙස ගත යුතුව ඇති ප්‍රශස්තම ක්‍රියා මාර්ගය වන්නේ මෙම පනත කඩිමුඩියේ සම්මත කර ගැනීමෙන් වැළකී සිටීමය. ජනතාව මහත් අපේක්ෂා සහගතව ලබාදුන් අති විශාල ජන වරම අවභාවිතා නොකිරීමය. ආණ්ඩුව මේ මොහොතේ තමා සතු අසීමාන්තික බලය රට පරදුවට තැබීම සඳහා යොදා නොගත යුතුය.
රජය එවැනි පිළිවෙතකට යොමු වුවහොත්, ලැබිය හැකි ප්‍රතිඵලය ඊට සම්බන්ධ වන සියලු දෙනාටම බොහෝ සේ අමිහිරි විය හැකිය. කටුක විය හැකිය. ඇතැම් විට බිහිසුණු ද විය හැකිය. රටත් ජනතාවත් එවැනි අගාධයකට යොමු නොකොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට රට පිළිබඳ තීන්දු තීරණ ගැනීමට අදාළ සියල්ලන්ගේම අවදානය යොමු වේවායි ප්‍රාර්ථනා කරන අතර අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ පෝර්ට් සිටි කොමිෂන් සභාා පනත මේ ආකාරයෙන් කඩිමුඩියේ සම්මත කර ගැනීමට කටයුතු නොකරන ලෙසය.
අප යෝජනා කරන්නේ අද දින ඉදිරිපත් කෙරෙන සංශෝධන විස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව එකී සංශෝධන ආගමික නායකයින්, සිවිල් සමාජ සංවිධාන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට සහ විද්වත් ප්‍රජාව වෙතද රටේ සමස්ත ජනතාව වෙතද ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව ඔවුන්ගේ වන අදහස් සහ යෝජනා ද සැලකිල්ලට ගනිමින් එහි ඉදිරි කටයුතු සිදු කළ යුතුව ඇති බවය. ඒ අනුව ජූනි මස අගදී පනත සම්මත කළ හැකිය.
Lanka Newsweek © 2026